www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්

ළදරුවෙකු මෙන් වීම - දෙවැනි කොටස.

දේව දරුවෙකු හැටියට අපට ඇති වරප්‍රසාදය.

"උන්වහන්සේද කුඩා දරුවෙකු තමන් ලඟට කැඳවා ඔවුන් මැද සිටුවා, සැබෑවක් සැබෑවක් නුඹලාට කියමි, නුඹලා හැරී කුඩා දරුවෙකු මෙන් නූනොත්, කිසිසේත් ස්වර්ග රාජ්‍යයේ උතුම් නොවන්නෝය, යනුවෙන් පැවසිය."
-මතෙව් 18:2-3

යේසුස් වහන්සේගේ මේ ඉගැන්වීම සරල එකක් මෙන් මතුපිටින් පෙනුනත් එතුලින් පැවසෙන ආත්මික සත්‍යයතාවය අපගේ නොපෙනෙන ඇතුලාන්තයේ සිදුවිය යුතු වෙනස්විම තෙක්ම ගමන් කරයි.

බයිබලයේ ඇති වාර්තා තුල පටන් ගැනීමේ සිට අවසානය දක්වාම දෙවියන්වහන්සේ පෙනීසිටින්නේ, "පියාණන්වහන්සේ " හැටියටයි. එසේම යේසුස් වහන්සේ පිළිගත් ඇදහිලිවන්තයන් දෙවියන්වහන්සේ ඉදිරියේ විශේෂ වන්නේ, යේසුස් වහන්සේ තුලින් ඇදහිලිවන්තයන්ට දෙවියන්වහන්සේගේ "දරුවන්" වීමේ භාගය ලැබීමයි.

යේසුස් වහන්සේ තුලින් අපට උරුම වූ මේ දරුකම සහ පිය උරුමයේ සම්බන්ධය දෙවියන්වහන්සේම විසින් අපට දෙන ලද්දක් බවත් බයිබලයේ ඇති වාර්තා පෙන්වයි. යේසුස් වහන්සේ තුලින් ඇදහිලිවන්තයාට ඇති ඒ විශේෂ වරප්‍රසාදයද පෙන්නා දෙන පිණිස කුඩා දරුවෙකු උදාහරනයක් කරගනිමින් යේසුස් වහන්සේ තම ගෝලයන්ට පෙන්වාදෙන ආත්මික ගුරුකම වන්නේ; මොලොව දරුවන් තම දෙමාපියන් කෙරෙහි රැඳී සිටීම තුලින් ජීවිතය ජයගන්නා ආකාරයෙන්ම අපටත් අපගේ දෙව් පියාණන් කෙරෙහිද බලාපොරොත්තුවෙන් විශ්වාසකිරීම තුලින් ජීවිතය ජයගත හැකි බවයි.

එසේම ඒ ජයග්‍රහණය අපගේ ආත්මික පැත්තට පමණක් සීමාවූ එකක්ද නොවෙනා බවත් උන්වහන්සේගේ ඉගැන්වීම පෙන්වයි.

දරුවා සහ වැඩිහිටියාගේ ලෞකික ව්‍යවහාරය

කුඩා දරුවන්ගේ වගකීම දෙමාපියන් මත පැවරෙන්නේ ඔවුන් දෙමාපියන්ට අයත්වන නිසායි. එසේම කුඩා දරුවන් දෙමාපියන් යටතේ ජීවත්වන්නේ ඔවුන් කුඩා දරුවන්ද වන හේතුව උඩයි.

කුඩා දරුවන්ට ජීවිතය ගැන වගකීමක් නොමැත්තේ ඔවුන් තාමත් දෙමාපිය සරණ මත වැඩෙනා කුඩා දරුවන් වීම වුවත් ඒ කුඩා දරුවන් වැඩිවියට පත්වූ විගස ඒ තත්වය වෙනස්වෙයි.

වැඩිහිටි දෙමාපියන්ගේ බලාපොරොත්තුව වන්නේ කුඩා දරුවන් වැඩිවියට පත්වී ඔවුන් කෙරෙහි රැඳී නොසිට ස්වාධීනව ජීවත්වනවා දැකීමයි. ඒ අනුව දරුවන් කෙරෙහි ඇති දෙමාපියන්ගේ ඒ වගකීම දරුවන් වැඩිහිටියන් බවට පත්වීමත් සමග අවසන්වෙයි.

වැඩිහිටි දෙමාපියන්ද තම දරුවන් ගැන සැලකිලිමත් වෙමින් ඔවුන්ගේ ශුභසාධන වෙනුවෙන් කටයුතු කරන්නේ ඔවුන් දිනෙක ස්වාධිනවී දෙමාපියන්ගේ වගකීමෙන් නිදහස් වී තනිව ජිවත් වීම දැකීමටයි. ඒ අරමුණ මත පමණක් ඔවුන් තම දරුවන් රැකබලා ගනියි. ඔවුන්ගේ ශුභාසාධනය ගැන වගකීම උසුලයි.

සාමාන්‍යයෙන් මෙවැනි පසුබිමක් යටතේ දෙමාපියන් සහ දරුවන්ගේ සම්බන්ධය මෙන්ම වගකීමත් මොලොව ක්‍රියාවට නැගෙයි.

ලෞකික පිළිගැනීමට අනුව "වැඩිහිටියා" යනුවෙන් අපි සලකන්නේ ජීවිතය ස්වාධීනව ගෙනයන පුද්ගලයෙකුටයි. ශාරීරික වර්ධනය පමණක් නොව නුමුත් පුද්ගලිකව වගකීම් දැරීමට තීරණ අරගෙන ස්වාධීනව ක්‍රියා කිරීමට පටන්ගැනීම එයට අයත්වෙයි. කුඩා දරුවෙකු තම දෙමාපියන් කෙරෙහි යැපීමේ ඒ පුරුද්දෙන් මිදී, තම ජීවිතය තමාගේම ස්වකිය හැකියාවෙන් ස්වාධීනව ගෙනයෑමට පටන් ගැනීමත් සමග දරුවන් වැඩිහිහිටියන් කෙරෙහි රැඳී ජීවත්වීමේ පුරුද්ද අතහැර දමයි.

ඒ අනුව වැඩිහිටියා යනුවෙන් එකල පිළිගත්තේ, හරි තීරණ අරගෙන තම ස්වකිය උත්සාහයෙන් සහ දැණුමෙන් ගොඩනැගී දියුණුවීමට උත්සාහකර ස්වාධීනව පුද්ගලයෙකු බව පෙනෙයි. කුඩා දරුවෙකු ඒ තත්වයට පැමිණෙන තුරු පමණක් දෙමාපියන්ද දරුවන්ගේ වගකීම අරගෙන කටයුතු කලත් දරුවන් වැඩිහිටියන් බවට පත්වීමත් සමග ඔවුන් ස්වාධිනවී කටයුතු කිරීමට අනුබලදෙයි. ඒ අනුව වැඩිහිටියෙකු වැඩිහිටියෙකු ලෙසින් තීරණය වන්නේ, ඔහුගේ ශාරීරික වෙනස් කමටත් වඩා ස්වාධීනත්වය මුල්කරගෙන ඔවුන්ගේ ඇතුලාන්තයේ සිදුවන මානසික වර්ධනයත් මුල්කරගෙන බව පෙනෙයි.

මේ පින්තුරය යේසුස් වහන්සේ විසින් කුඩා දරුවෙකු අරගෙන තම ගෝලයන්ට පෙන්වාදෙන ඒ ඉගැන්වීම සාමාන්‍යය ව්‍යවහාරයට වඩා අලුත් අර්ථකතනයක් ගෙනදෙයි.

ආත්මික වර්ධනය ක්‍රියාවට නැගෙන ආකාරය

ලෝකයේ දෙමාපියන්ගේ එකම ආශාව වන්නේ, තම දරුවන් වර්ධනය වී තමුන් මෙන් ස්වාධිනවී ජීවත්වනවා දැකීම වුවත්, යේසුස් වහන්සේ මෙහි පෙන්වාදෙන අපගේ දෙව් පියාණන් වහන්සේගේ කැමැත්ත වන්නේ, අපගේ මුළු ජිවිත කාලයටම උන්වහන්සේ ඉදිරියේ කීකරු දරුවන් වී කුඩා දරුවන් මෙන් විශ්වාසයෙන් සහ බලාපොරොත්තුවෙන් උන්වහන්සේ මත රැඳී සිටිමින් ජීවත්වනවා දැකීම බවයි.

ඒ අනුව වැඩිහිටි ඇදහිලිවන්තයන් වන අපත් දෙවියන්වහන්සේ කෙරෙහි සැමදාම සැමවිටම සෑමදෙයක් කෙරෙහිම රැඳී සිටීම දැකීම පමණක් උන්වහන්සේගේ කැමැත්ත බව පෙන්වාදී තිබීම දෙවියන්වහන්සේ සමග අපට ඇති ඒ සම්බන්ධය ලෝකයේ ආකාරයට වඩා වෙනස්වූ එකක් බවත් පෙන්වයි.

එයින් පැවසෙන්නේ දෙවියන්වහන්සේ කිසිවිටෙකත් අපි උන්වහන්සේ ගෙන් ඈත්වී ස්වාධීනව, තනිව ජිවිතයට මුහුණ දෙනවාට හෝ අපගේම පුද්ගලික ස්වකිය ශක්තියෙන් පමණක් ජීවිතය ජයගැනීමට උත්සාහ කරනවා දැකීමට හෝ (ලෝකයේ ආකාරයට) අකමැති බවයි.

ඒ වෙනුවට උන්වහන්සේගේ ඉල්ලීම වන්නේ, අප ජිවත්වන මුළු ජිවිත කාලය පුරාම උන්වහන්සේගේ පිහිට උපකාරය සහ මඟ පෙන්වීමද ඇතුව මේ ලෞකික ජිවිතයේ අභියෝගයන් මෙන්ම අපගේ ආත්මික ජිවිතයේ අභියෝගයන්ද ජයගන්නා පිණිසත් උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් ජීවත්වීමට පහසුවන පිණිස අපගේ ඇතුලාන්තයෙන් වෙනස්වන ලෙසයි.

එයින් අදහස් කෙරෙන්නේ, වැඩිහිටියන් හැටියට මේ ලෝකයේ ආකාරයට ජීවත්වීමට පුරුදුවී සිටින අපගේ ඒ ජිවිත රටාව දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ජිවත්වන පිණිස අලුත් කරගැනීමට ඇතුලාන්තය දෙවියන්වහන්සේට බාරදෙන ලෙසින් කරන ඉල්ලීමයි. ලෞකික පුරුදු වලින් මිදීමටත් එසේම ඒ වෙනුවට දෙවියන්වහන්සේ ගේ කැමැත්ත කිරීමට පහසුවන පිණිසත් ඇතුලාන්තයෙන් අලුත් පුද්ගලයන් වන පිණිස කුඩා දරුවන් මෙන් දෙවියන්වහන්සේට යටත්වීමට ඉගෙන ගන්නා ලෙසයි.

ඒ සඳහා අප වෙනස් විය යුතු වන්නේ පිටතින් නොව නුමුත් ඇතුලාන්තයෙන් බව යේසුස් වහන්සේ තෝරාගත් ඒ කුඩා දරුවාගේ උදාහරණය පෙන්වයි.

දෙවියන්වහන්සේට සම්බන්ධ වූ ජිවිතයක් ගොඩනගා ගෙන මේ ලෞකික ජීවිතය මෙන්ම අපගේ ආත්මික ජීවිතයත් ජයගැනීමට අපට ඇත්තේ ඒ ආදර්ශය පමණි. ඒ සඳහා ජිවිත වෙනස් කරගැනීමේ වගකීම අප පිට පැවරෙන්නේ අප ලෝකයේ ආකාරයට හැඩගැසී ජිවත්වන මිනිසුන්ද වීමයි. එබැවින් වෙනස්වීම සිදුවිය යුත්තේද අප තුලයි.

අප දෙවියන්වහන්සේගේ දරුවන් වන විට දෙවියන්වහන්සේ අපගේ පියාණන් වහන්සේ වන බැවින්, ආත්මික දියුණුව මෙන්ම ලෞකික දියුණුව වෙනුවෙනුත් අපට ඇත්තේ ඒ මාර්ගය පමණක් බවත් යේසුස් වහන්සේගේ මේ ඉගැන්වීම අපටත් මතක් කරයි.

එබැවින් වැඩිමහල්ලන් වන අපට දරුවන් මෙන් දෙවියන්වහන්සේ වෙත රැඳී සිටීමට නම්, පළමුවෙන්ම ඒ වෙනුවෙන් අපට අපගේ වැඩිහිටි පුරුදු වලින්ද මිදීමටත් සිදුවෙයි. ඒ කීකරුකම සිතට අවංකව ඇතුලාන්තයෙන් සිදුවිය යුත්තක් වන්නේ, එවිට පමණක් අපට දරුවන් සේ අවංකව උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් ජිවිතයට මුහුණ දීමට හැකිවන නිසායි.

කුඩා දරුවන් තම දෙමාපියන් සැක නොකරන ආකාරයෙන් දෙවියන්වහන්සේ කෙරෙහිත් විශ්වාස තැබීමට ඉගෙන ගැනීමට මේ උදාහරණය උපකාරී වෙයි.

(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /©2016- darmadasa.org)